Friday, March 2, 2012

රුපවාහිනී මේනියාව

ලෝකයේ ප්‍රබලම කැමරාව මිනිස් ඇස් ය. කැමරාවක් දකින සියල්ල පටිගත කරගන්නා සේ මිනිස් ඇස් යුගලයත් දකින සියල්ල පටිගත කරගනියි.ඇසේ සිට මොළයට දිවෙන ස්නායු ප්‍රමාණය,කනේ සිට මොළයට දිවෙන ස්නායු ප්‍රමාණය මෙන් විසිපස් ගුණයකි.වචනවලට වඩා එක් පින්තුරයක් මගින් අතිප්‍රබල බලපෑමක් අපේ මනසට කළ හැකිය. මිනිසාගේ සිත සම්පුර්ණයෙන්ම ගනුදෙනු කරන්නේ පින්තුර සමගින්ය. පින්තුරයක් වචන දහසකට වඩා වටනේය යැයි පැරණි කියමනක්ද ඇත.

සිග්මන් ෆ්‍රොයිඩ් මිනිසාගේ සිත අයිස් කන්දකට සමාන කර ඇත.මුහුදේ මතුපිටින් පෙනෙන්නේ අයිස් කන්දෙන් සුළු ප්‍රමාණයක් පමණයි.එය ප්‍රතිශතාත්මකව 10% කි.ඉතිරි 90% තිබෙන්නේ මුහුදු පතුළේය.අපගේ සිත කොටස් දෙකකට වෙන්කළ හැකිය.එය උඩු සිත (conscious) සහ යටි සිත (subconscious) යනුවෙනි. අපි එදිනෙදා අපගේ සියලුම කාර්යයන් සිදු කරනු ලබන්නේ උඩුසිත සමගින්ය.උඩුසිත ක්‍රියාත්මක කරන්නේ යටිසිත මගින්ය.අපේ එදිනෙදා ජිවිතයේ දකින,අහන,අත්දකින සියල්ල අපගේ යටිසිතේ පටිගත වෙයි.එම පටිගත වෙච්ච සිදුවීම්වලට අනුව අපගේ යටිසිත අපගේ උඩුසිත මෙහෙයවයි.එදිනෙදා ජිවිතයේ ඔබ නිතරම දකින්නේ කුමක්ද එය ඔබේ චරිතයට කෙලින්ම බලපායි.ඔබේ චරිතය තීරණය වන්නේ ඔබ දකින, අහන, අත්දකින දේවල්වලට අනුවය.


මොහොතකට අපි පැරණි මිනිසා දැකපු සිතුවම් දෙසට සිත යොමුකර බලමු. සැමතැනම ගස්වැල් වලින් පිරිච්ච සුන්දර පරිසරයක්, මනුස්සකම සිත පුරාත් අව්‍යාජ සිනහව මුහුණ පුරාත් පුරවාගත් මිනිස් සංහතියක්, ළමා කාලය සතුටින් ගෙවන ළමා පරපුරක්........ එවැනි එම මිනිසුන් දැකපු සියලුම දසුන් ධනාත්මකය. එම මිනිසුන් නිරහංකාරය, අව්‍යාජය, සෙනහසෙන් පිරුණු ප්‍රබෝධමත් මිනිසුන්ය. ඔවුන් ක්‍රෝධය, වෛරය, ඊර්ෂියාව, ද්‍රෝහිකම..... යනාදී කිසිම දෙයක් නොහඳුනයි. හේතුව ඔවුන් එවැනි දර්ශන දකින්නේ කලාතුරකින්ය. ඔවුන්ගේ සිත් පිරි තිබුනේ ධනාත්මක දර්ශන වලින්ය.

දැන් අපි වර්තමාන මිනිසාගේ ජිවන තත්වය දෙස මඳකට සිත යොමු කරමු.කොන්ක්‍රීට් වනාන්තරයෙන් පිරුණු පරිසරයක්. එම පරිසරය තුළ ක්‍රෝධය, වෛරය, ඊර්ෂියාව, කුහකකම, නොරිස්සුම, කනස්සල්ල ආදිය සිතේ සඟවාගෙන ව්‍යාජව සිනාසෙන මිනිස් පරපුරක්, ළමාවියේදීම වැඩිහිටියන් වීමට උත්සහ දරන ළමයි සංහතියක්.මෙවැනි සෑමතැනම ඍණාත්මක සිතුවම්ය.මෙසේ අතීත ධනාත්මක මිනිසා සිට වර්තමාන ඍණාත්මක මිනිසා දක්වා සමාජය පරිණාමය වුයේ කෙසේද? මෙයට හේතුව කුමක්ද? මෙලෙස ගියහොත් අපගේ සමාජයට යන කළදිසාව කුමක්ද?

හිස් මොළයක් සහ හිස් මනසක් සහිතව මෙලොව එළිය දකින සිඟිත්තෙකු දෙසට මොහොතකට ඔබගේ අවධානය යොමු කරන්න. ඔහු කිසිවක් නොදනී. ඔහු මෙලොවට ආගන්තුකයකි. ඔහු දන්නේ එක දෙයක් පමණි එනම් ඇඩිමටය. එම සිඟිත්තා ප්‍රථම වතාවට බිමට වැටුනේ යැයි මොහොතකට පරිකල්පනය කරමු. ප්‍රථම වතාවට බිමට වැටුණු එම ළමයා අඬන්නේ නැත. හේතුව බිමට වැටුනොත් ඇඩිය යුතු යැයි ඔහු දන්නේ නැත. නමුත් ඔහු බිමට වැටුණු දුටු ඔහුගේ මව කලබලයට පත්වී දුවගෙන ඇවිත් ඔහුව වඩා ගනියි. එවිට එම ළමයා අඩයි. එම ළමයා අඬන්නේ බිමට වැටුණු නිසා නොව අනපේක්ෂිත ඔහුගේ මවගේ පැමිණීම සහ ඇය කලබල වී ඔහුව වඩාගත් නිසා එම අවස්ථාවට ප්‍රතිචාර දැක්වීමට ඔහු නොදන්නා නිසාත් ඔහු අඬයි. ඔහු අඬන විට එම මව විවිධ සෙල්ලම් බඩු සහ විජ්ජා පෙන්නා එම ඇඬ්ම නතර කිරීමට උත්සහ දරයි. මෙය දකින එම සිඟිත්තා "මම බිමට වැටුනොත් අඬන්නේ ඕන එතකොට අම්මා මට ඕනකරන දේවල් දෙයි" යනුවෙන් ඉගෙනගනියි. ඉන්පසු ඔහුට මොන දේ වුවමනා වුනත් ඔහු කරන්නේ ඇඬ්ම පමණි. මෙසේ ඔහු තමාගේ ඇස්වලින් දකින දසුන්වලින් ඉගෙනගැනීමට පෙළඹෙයි. අපි කුඩා කල සිට ඉගෙනගත්තේ අනුන්ගේ ක්‍රියා දෙස බලාය.

අපි කතාකරන්නට, කන්නට, බොන්නට සියල්ලම අපගේ දෙමව්පියන්ගෙන් ඉගෙනගත්තෙමු. ලිවීමට, කියවීමට අපි ගුරුවරුන්ගෙන් ඉගෙනගත්තෙමු. සෙල්ලම් කිරීමට, සෙනෙහස පෑමට අපි අපගේ සහෝදර සහෝදරියන්ගෙන් සහ මිතුරන්ගෙන් ඉගෙන ගත්තෙමු. මෙසේ අපි උගත් සියල්ලම අනුන්ගෙන් උගත් දේවල්ය. බොරු කීමට, හොරකම් කිරීමට යනාදී නරක පුරුදුත් අපි ඉගෙනගත්තේ අනුන් දෙස බලාය. එසේ නම් අනියම් සම්බන්දතා පැවැත්වීමට, අනුන්ගේ පවුල් කඩාකප්පල් කිරීමට, නැන්දම්මා සමග දබර කිරීමට යනාදී දේවල් අපි ඉගෙනගත්තේ කාගෙන්ද? මේවා කිරීමට අපගේ මාර්ගෝපදේශකය කව්රුන්ද? සරළම පිළිතුර රූපවාහිනියයි.

ලෝකයේ යුද්ධ වර්ග දෙකක් ඇත. ඉන් පළමුවැන්න යුධබිමේ රණවිරුවන් සිදු කරන යුද්ධයයි. දෙවැන්න ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින සෑම රටකම සිදු කරනු ලබන සිතුවිලි යුද්ධයයි. ආයුධ නැතිව ලේ හලන්නැතිව සිදු කරනු ලබන මෙම සිතුවිලි යුද්ධයේ අපි සැවෝම සහභාගී වී සිටිමු. රූපවාහිනිය, අන්තර්ජාලය, පුවත්පත් මගින් සැමදා අපගේ මොළය සෝදනු ලබයි. මහා පරිමාණයෙන් සිදු කරනු ලබන මෙම සිතුවිලි යුද්ධයෙන් දැඩි ලෙස බලපා ඇත්තේ කාන්තාවන්ය. අතීතයේ විසු ගුණගරුක කාන්තාව අද නැත. කාන්තාවන්ගේ මනස අද රූපවාහිනිය මගින් කෙළසා ඇත. රටේ ප්‍රබලම ශක්තිය සහ පවුලේ කොඳු නාරටිය වන කාන්තාවට අද සිදු වී ඇත්තේ කුමක්ද?

ලංකාවේ සිටින බොහෝ කාන්තාවන් රූපවාහිනී මේනියාවෙන් පෙළෙනු ලබයි (ඇතැම් පිරිමින්ද දැන් රූපවාහිනී මේනියාවෙන් පෙළෙනු ලබයි). මොවුන් සැමදා බලන්නේ කුමක්ද? ටෙලිනාට්‍ය, සිනමා මඟින් මොවුන්ගේ සිත් තුළට කාවැද්දීමට උත්සාහ දරන පණිවිඩය කුමක්ද? ද්වේශය, වෛරය, ඊර්ශියාව, ක්‍රෝදය, පලිගැනීම යනාදී ඍණාත්මක සිතුවම් තමයි මේවායින් පෙන්වනු ලබන්නේ. නිතර නිතර මේවා දැකීමෙන් යටිසිත මෙය සත්‍යයක් ලෙස පිළිගනියි. යටිසිත සත්‍යයක් සේ පිළිගන්නා සියල්ල අපගේ චරිතයට බලපායි. එසේ නම් මේවා නිතර නිතර බලන පුද්ගලයන්ගේ චරිතය කෙසේ විය හැකිද? මෙවැනි ඍණාත්මක චරිත සිටින පවුල්වල තත්වය කෙබඳු විය හැකිද? මොහොතකට සිතන්න.......

කාන්තාවන්ට පසුව රූපවාහිනියට වැඩියෙන්ම ඇබ්බැහි වී ඇත්තේ ළමුන්ය. අද රුපවාහිනියේ පෙන්වන බොහෝ වැඩසටහන් වලින් උත්සාහ දරන්නේ ළමුන්ව කුඩා වියේදීම වැඩිහිටියන් කිරීමටය. අද ළමුන් කුඩා වියේදීම ආදර සම්බන්දතා පවත්වයි. මෑතකදී ඉන්දියාවේ දී සිදුකල පරීක්ෂණයට අනුව පුද්ගලයෙක් වයස අවුරුදු 20 සපිරෙන විට සටන් දර්ශන 200,000 ද, ආදර දසුන් 75,000 ද, මිනීමැරුම් දර්ශන 50,000 ද නරඹන බව අනාවරණය වී ඇත. මෑතකදී විශේෂයෙන්ම ළමයින්ගෙන් සිදුකල පරීක්ෂණයට අනුව දවසකට පැය 1-3 දක්වා රූපවාහිනිය නරඹන පිරිමි ළමුන්ගෙන් 22.5% ළමුන් අනිත් පිරිමි ළමුන් සමඟ සටන් කිරීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබේ. මෙය පැය 05ක් දක්වා දීර්ඝ වුවහොත් මෙම ප්‍රතිශතය 28.8% දක්වා වර්ධනය වේ.

ළමුන් ආදර සම්බන්දතා පවත්වන්නේ රූපවාහිනිය බලාය. සිනමාවල වැඩි වශයෙන් පෙන්වන්නේ ආදර දසුන්ය. වර්තමාන කාර්යබහුල සමාජයේ දෙමව්පියන්ට තම දරුවන්ට සෙනහස පෑමට වෙලාවක් නැත. මෙම සෙනහස නොලබපු ළමයි එම සෙනෙහස වෙන කෙනකුගෙන් බලාපොරොත්තු වෙයි. මෙසේ මොවුන් සෙනහස බලාපොරොත්තුවෙන් සිටින විට රුපවාහිනියේ පෙන්වනු ලබන්නේ ආදර සම්බන්දතා පවත්වන තරුණ තරුණියන්ය. මෙය දකින එම ළමුන්ගේ බොළඳ සිත ආදරය වෙනුවෙන් වැළපෙයි. දෙමව්පියන්ගෙන් නොලබපු එම ආදරය වෙන කෙනකුගෙන් ලබාගැනීමට උත්සාහ දරයි. මෙහි විපාකය වන්නේ ළමුන් කුඩා වියේදීම ගෙදරින් පැනයාමට උත්සහා දැරීමය.

ඕනෑම දෙයක් කිරීමට සිතට ධෛර්යය අවශ්‍යය. ධෛර්යය නොමැතිව කිසිම දෙයක් කළ නොහැකිය. මොහොතකට අපි Stage Phobia හෙවත් වේදිකා බිය කියන රෝගයෙන් පෙළන සිසුවෙකු ගැන සිතමු. මොහුගේ මෙම Stage Phobia එක නැති කිරීමට නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඔහුගේ සිතට ධෛර්යය සැපයීමය. එසේ ධෛර්යය සැපයීමට වේදිකාවේ සාර්ථක ලෙස කතාකරන කථිකයන්ගේ දසුන් මොවුන්ට පෙන්විය යුතුය. කිහිපවරක් මෙම දසුන් දකින එම සිසුවාගේ සිත ධෛර්යයමත් වෙයි. වේදිකාවේ කතාකිරීම සරළ දෙයක් යැයි සිත පිළිගනියි. එසේ සිත පිළිගත්තට පසුව එම සිසුවාට බිය නැතුව වේදිකාවේ නැග සාර්ථක ලෙස කතාව පැවැත්විය හැකිය. අද ලංකාවේ බොහෝ තරුණ තරුණියන් නිවසෙන් පැනගොස් විවාහ වෙයි. මොවුන්ගේ සිතට මෙම ධෛර්යය දුන්නේ කව්රුන්ද? මොවුන්ව මේ සදහා පෙළඹවුයේ කව්රුන්ද? අද සිනමාව මගින් ආදරවන්තයා සමග නිවසින් පැන ගොස් විවාහ වීම සරළ දෙයක් යැයි පෙන්වනු ලබයි. නිතර නිතර මෙය දකින මොවුන්ගේ සිත ධෛර්යයමත් වෙයි. මොවුන් වගේම රූපවාහිනියට සහ සිනමාවට ඇබ්බැහි වෙච්ච මොවුන්ගේ මිතුරු මිතුරියන් මෙයට අනුබල දෙයි. මෙසේ හැම පැත්තෙන්ම මොවුන්ගේ සිතට ධෛර්යය සපයන විට මොවුන් නිරායාසයෙන්ම එම ක්‍රියාව කිරීමට පෙළඹෙයි.

රූපවාහිනියේ පමණක් නොව අන්තර්ජාලය, පුවත්පත් මගිනුත් සිදු කරනු ලබන්නේ මෙයමය. දශක තුනක් මුළුල්ලේ ලංකාවේ පැවතී කුරීරු යුද්ධය පරාජය කරපු අපට මෙම සිතුවිලි යුද්ධය පරාජය කිරීමට නොහැකි වී ඇත. ලංකාව සංවර්ධිත රටක් බවට පරිවර්තනය වියයුතු නම් කළයුතු එකම දෙය ලංකාවාසීන් සියල්ලන්ගේම සිත ධනාත්මක සිතුවිලි වලින් පිරවීමය. මෙයට අපගේ කාන්තාවන් සහ දරුවන්ව රුපවාහිනිය සහ අනිකුත් ඍණාත්මක සිතුවිලි සපයන මාධ්‍යයන්ගෙන් වෙන්කර ධනාත්මක පොත්පත් දෙසට ඔවුන්ව යොමුකළ යුතුය. එසේ කළ හැකිනම් සංවර්ධිත රටවල් මගින් සිදු කරනු ලබන මෙම මාරක සිතුවිලි යුද්ධය අපට පරාජය කර ලංකාව සංවර්ධිත රටක් බවට පරිවර්තනය කළ හැකිය.

යන ගමන් කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.

6 comments:

  1. පැහැදිලිවම ශ්‍රී ලාංකීය කාන්තා මානසිකත්වයට මෙගා ටෙලි විශාල බලපෑමක් කරනවා..ඉස්සර අපි මල් පත්තර වලට බැන බැන හිටියා කෙල්ලොන්ට බොලඳ කම, ආදරය විකුනං හම්බ කරනවා කියලා.හැබැයි දැන් තත්ත්වය ඊට වඩා භයානකයි!

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. දිගටම යාත්‍රාව සමඟ රැඳී සිටින්න.

      Delete
  2. ඔබ කියන්න හදන දේ සම්පූර්ණ ඇත්ත. ටෙලි නාට්‍ය බලන අයට ටික ටික ඒව ඇත්ත කියල හිතෙනව. ගෑනුන්ට හිතෙනව තමන්ගෙ මිනිහත් අර ටෙලිනාට්‍යයෙ එකා වගේ නේද කතා බහ කරන්නෙ, ඇඳුම් අඳින්නෙ, හැසිරෙන්නෙ කියල. එතකොට, ටෙලිනාට්‍යයෙ මිනිහ හොරෙන් වෙන ගෑනියෙක්ගෙ ගෙදර යනවනෙ. ෂුවර් එකට අපේ මිනිහත් එහෙම යනව ඇති කියල හිතෙනව. ඊට පස්සෙ මොකක් හරි කොනක් අල්ලගෙන රන්ඩුවක් පටන් ගන්නව. රන්ඩු වෙනකොට මිනිහටත් මල පනිනව. අවසානය දුක්බරයි.

    ReplyDelete
  3. aniwa machan. umba kiyapu dewal nam aththa. kellonwa therum ganna eka godak amarui.

    ReplyDelete
    Replies
    1. Machan uba pahadiliva karunu dakvala thiyenava.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...