Tuesday, February 14, 2012

ආත්ම විශ්වාසය


මවක් හා පියෙක් දරුවන් බිහිකිරීමේ කාර්යයේ නිරතවීමෙන් පසුව පියාගේ ශරීරයෙන් මවගේ ශරීරයට මිලියන 4ක ශුක්‍රානුවන් ගමන් කරයි. මෙම ශුක්‍රනුවන් මවගේ ශරීරයේ අභ්‍යන්තරයේ දැඩි බාධක මැද්දේ දිවීමේ තරඟයට මුහුණ දෙයි. මෙම දිවීමේ තරඟයෙන් ජයග්‍රහණය ලබා මවගේ ඩිම්බය සමඟ සංසේචනය වී දරුවෙකු ලෙසින් මෙලොව එළිය දකින්නේ එක් ශුක්‍රානුවක් පමණි. එසේ මිලියන 4ක ශුක්‍රානුවන් පරදා මෙලොවට පැමිණි එම ජයග්‍රාහී ශුක්‍රානුව තමයි මමත් ඔබත්. අපි මෙලොවට බිහිවුනේ ජයග්‍රහණය දෝතේ බදාගෙනය.එම ජයග්‍රහණය අපි පහසුවෙන් ලබාගත් ජයග්‍රහණයක් නොවේ. මිනිස් ජිවිතයේ ආරම්භයම අභියෝගයකි. එම ප්‍රථම අභියෝගයටම මුහුණ දී අපට ජයගැනීමට හැකිවූයේ නම් මෙලොව එන අභියෝගයන්ට මුහුණදීමට ඇයි අපිට නොහැකි? මිනිසාට මෙලොව තිබෙන ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකිය.එයට අවශ්‍යවන්නේ ආත්ම විස්වාසය නැමති බීජය පමණි.

අපි එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් දුෂ්කරතාවන්ට සහ බාධාවන්ට මුහුණ දෙන්නෙමු. නමුත් එම අභියෝගවලට අප අතරින් සාර්ථකව මුහුණ දෙන්නේ අතළොස්සක් පමණි. අනිත් සෑම පුද්ගලයෙක්ම කරන්නේ එම අභියෝගවලින් පලායාමයි.මොවුන් මෙසේ කරන්නේ ඔවුන් තුල ආත්ම විශ්වාසය නැති නිසාය. මෙලොව ජයගත් සියලුම පුද්ගලයන් ආත්ම විශ්වාසයෙන් පිරිපුන් පුද්ගලයන්ය. මෙලොව පරාජය වූ බොහෝ පුද්ගලයන් එසේ පරාජය වුයේ ආත්ම විශ්වාසය නොමැති නිසාය. ඔබ දුප්පත් වෙන්න පුළුවන්, රෝගී වෙන්න පුළුවන්,තවත් බොහෝ ප්‍රශ්ණ ඔබට තිබෙන්න පුළුවන් නමුත් ඔබට ආත්ම විශ්වාසය තිබේ නම් මෙලොව ඕනෑම ජයග්‍රහණයක් අත්කරගත හැකිය.

Lance Armstrong
ලාන්ස් ආම්ස්ට්‍රෝන් මොහු ලේ පිළිකා තුනකින් පෙළුණු රෝගියෙකි. ඔහු තමාගේ ජීවිතය ආරම්භ කළේ පිහිනුම් ශුරයෙකු හැටියටය. ඔහුට ලේ පිළිකාවන් වැළදුණු නිසා ඔහු සමඟ අත්සන් කරපු සියලුම පිහිනුම් ගිවිසුම් අවලංගු කරන ලදී.ඔහු එයින් සැලුනේ නැත. තමා තුළ තිබුණු ආත්ම විශ්වාසයේ බලයෙන් පරාජය තුට්ටුවකටවත් මායිම් නොකර දැඩි විශ්වාසයෙන් යුතුව බයිසිකල් ශුරයෙකු බවට ඔහු පත්වුණා.

ඔහුගේ එම ආත්ම විශ්වාසයේ ප්‍රතිඵලය වුනේ ලෝකයේ දිගම සහ වේගවත්ම පාපැදි තරඟය වුනු ප්‍රංශ පාපැදි තරඟය එකදිගට හත් වතාවක් ජයග්‍රහණය කිරීමයි. සිය ජයග්‍රහණයෙන් පසු ලාන්ස් ආම්ස්ට්‍රෝන් මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්ණයකට පිළිතුරු සපයමින් කියා සිටියේ සිතෙන් නිශ්චිත ඉලක්කයක් දැකිය හැකිනම්, එය ලබාගැනීමට විශ්වාසයෙන් සහ අධිෂ්ඨානශිලිත්වයෙන් යුතුව අඛණ්ඩව කැපවිය හැකිනම් මේ ලෝකයේ ඕනෑම ජයග්‍රහණයක් තහවුරු කළ හැකි බවය.

ලාන්ස් ආම්ස්ට්‍රෝන්ට ලේ පිළිකා තුනක් තිබියදී ආත්ම විශ්වාසයේ ශක්තියෙන් ලොව ජයග්‍රහණය කිරීමට හැකිවුයේ නම් නීරෝගී අපිට කොතරම් දේවල් කල හැකිද ?


ඔහු අවුරුදු හතරක පුංචි ළමයෙකි. ඔහුගේ මව සිත පුරා ආශාවන් පුරවාගෙන තමාගේ පුතාව නිළ ඇඳුමින් සරසවා පාසලට ගොස් ඇතුළත් කළාය. ශ්‍රවණ ආබාධයෙන් පෙළුණු ඔහුගේ සුරතල් නම ටොමිය. තමාගේ පුතා ලොව ජයගනී යැයි බොහෝ සිහින දුටු එම අහිංසක මවට ශෝකය උරුම කර දුන්නේය ටොමිගේ ගුරුවරිය. මාස තුනක් පමණක් පාසලට ගිය එම ළමයාගේ කමිස සාක්කුවේ ලියුමක් තබා නිවසට යවා තිබුණාය එම ගුරුවරිය.
ඉගෙනීමට සුදුසු නැති ඔබගේ මෝඩ ටොමිව මින්පසු පාසලට යවා අපට කරදර කරන්න එපා යන්නයි එම ලියුම.
මෙම ලියුම දැකපු ගමන් තමාගේ දරුවාව බදාගෙන එම මව, මගේ පුතා මෝඩයෙක් නෙමෙයි ඔහු දක්ෂයෙක් යැයි වැළපුනාය. මගේ පුතාට මමම උගන්වන්නම් ඔහුව මම බුද්ධිමතෙක් කරන්නම් යැයි දැඩි අධිෂ්ඨානයක් සිතේ තබා ගත්තාය එම අසරණ මව. ඇයගේ එම අධිෂ්ඨානය එම පුංචි සිඟිත්තාව ලෝක ප්‍රසිද්ධ කළාය.

ඉගෙනීමට නුසුදුසු යැයි මුද්‍රා තබන ලද එම ළදරුවා ගැන ඔහුගේ සොයාගැනීම් ගැන අද මුළු ලොවම කතා කරමින් සිටියි. පාසලට නොගිය එම ළමයා ගැන අද සෑම පාසලකම උගන්වනු ලබයි. ගුරුවරිය විසින් මෝඩ ටොමි යැයි හංවඩු ගසන ලද එම ළදරුවා වෙන කව්රුවත් නෙමෙයි ලොව වැඩිම සොයාගැනීම් සිදුකර නව නිර්මාණ සදහා පේටන්ට් පත්‍ර 1097ක් ලබාගත් තෝමස් අල්වා එඩිසන්ය.

තමාගේ මවගෙන් ඉගෙනගත් දැඩි අධිෂ්ඨානය හෙවත් ආත්ම විශ්වාසයේ ශක්තියෙන් ඔහු මුළු ලොවම ජයගත්තේය.

අපිට වැදගත් වන්නේ අප කරන්නේ කුමක්ද යන්න නොවේ අප කරන කාර්යයේ අපේ ශක්තින් ලොවට පෙන්නන්නේ කෙසේද යන්නයි. අප තුල ඇති ශක්තින් එළිකිරීම යනු අපගේ උනන්දුව,කැපවීම සහ විශ්වාසය පදනම මතයි සිදුවන්නේ. විශේෂයන්ම මතක තබාගත යුතු දෙය නම් අප කැමති දෙය අපට ලැබුනේ නැත්නම් අපට ලැබුණු දෙයට අපි කැමති විය යුතුය.

බොහෝ පුද්ගලයන් අසමත් වීමට බියය. වරක් අසමත් වුවහොත් ඔවුන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය නැති කරගනියි. නැවතත් එම කාර්යය කිරීමට බිය වෙයි. එකක් මතක තබාගන්න ලෝකයේ විශිෂ්ඨතමයන් බවට පත් වූ සියල්ලෝම ජිවිතයේ නොයෙක් අසමත්වීම් වලට මුහුණ දුන් පුද්ගලයන්ය. ඔවුන් ඔවුන්ගේ අසමත්වීම් පරාජයන් ලෙස නොසිතා ජයග්‍රහණයේ තවත් කඩඉමක් යැයි සිතා ඉදිරියට ගමන් කරපු නිසා තමයි ඔවුන්ට ජයගන්නට පුළුවන් වුනේ. තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බයක් දැල්වෙන එක් ආකාරයක් සොයා ගත්තේ එය නොදැල්වන අවස්ථා දස දහසක් පමණ අත්දුටු පසුවය.

ඒබ්‍රහම් ලින්කන් කීප වරක් බරපතළ පරාජයන්ට මුහුණ දුන් පුද්ගලයෙකි.පරාජයන්ට බියෙන් පැන යන කව්රුත් නොදිනන බවත්,දිනන කව්රුත් පැන නොයන බවත් පෙන්වා දීමට ඔහුගේ කතාවද උදව් කරගත හැකිය.

1831දී ඔහු ව්‍යාපාර කටුතුවලින් අසාර්ථක විය. 1832දී ව්‍යවස්ථාදායකයට තරඟ කොට පැරදුණේය. 1834දී යළිත් ව්‍යාපාරය බිඳ වැටුණේය. 1835දී ඔහුගේ පෙම්වතිය මරණයට පත් වුවාය.  ඊළග වසරේදී ඔහුට ස්නායු ආබාධයක් වැළදුනේය. 1838දී කථානායක තනතුරට තරඟ කොට පරාජයට පත් විය. 1843දී සහ 1846දී කොන්ග්‍රසයට තරඟ කොට පරාජයට පත් විය. 1849දී ඉඩම් නිළදාරි තනතුරට තරඟ කොට පැරදුණේය.1855දී සෙනෙට් මන්ත්‍රී තරඟයෙන් පරාජය වූ හෙතෙම 1856දී උපජනාධිපති නාම යෝජනාව අපේක්ෂා කළද එයද ප්‍රතික්ෂේප විය. 1858දී යළිත් සෙනෙට් මන්ත්‍රී තරඟයෙන් පරාජය වූ ඒබ්‍රහම් ලින්කන්, මේ සියලු පරාජයන් අත්දැක 1860දී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බවට පත් විය.

අසමත්වීම්වලට බිය නොවන්න. IBM නිර්මාතෘ තෝමස් J වොට්සන් පැවසූ පරිදි ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම් ඔබේ අසාර්ථක වීමේ ප්‍රමාණය දෙගුණ කරන්න. සෑම පරාජයකින්ම පාඩමක් ඉගෙනගෙන ඉදිරියට යන්න. ඔබට ලොව ජයගත හැකිය.

බොහෝ පුද්ගලයන් විවේචනයට බියය. ඔස්කා වයිල්ඩ් පැවසූ පරිදි විවේචනය කරන්නා සෑම දෙයකම මිළ දනී. එහෙත් එහි වටිනාකම නොදනී. කව්රුන් හෝ තමාගේ ක්‍රියාවක් දැක දොස් කිවහොත් ඔවුන් එයින් අධෛර්යට පත් වී ආත්ම විශ්වාසය නැති කර ගනියි. අපි කරන සෑම ක්‍රියාවකම සහ කතා කරන සෑම වචනයකම දොස් දකින්නන් එසේ කරන්නේ අපි දුක් වෙන්න ඕන යැයි සිතාය. එක දෙයක් මතක තබාගන්න අපි දුක්විය යුතු යැයි අපගේ දොස් දැක කතා කරන්නන් කතා කරද්දී අපි දුක් වුවහොත් ඔවුන් ජය ලබයි. ඔබ එම දොස් දකින්නන් ජය ගන්නට ඉඩ සළසන්න එපා.ඔබ දුක්විය යුතු යැයි කව්රුහරි මොනවා හෝ කියද්දී ඔබ දුක් නොවී සිනාසුනහොත් ඔවුන් පරාජය ලබයි. අපව පරාජය කරන්න ආපු අයව අපි පරාජය කිරීම තමයි සාධාරණය මිස අපි දුක් වී පරාජය භාරගැනීම අසාධාරණය. මෙයට පහත සඳහන් කතාව කදිම නිදසුනකි.

පැරණි ඉන්දීය ඍෂිවරයෙකුගේ කතාවකට අනුව අසලින් ගිය අයෙකු ඔහුට අශෝබන නම් කිහිපයක් කියන්නට විය. එම පුද්ගලයා සියල්ල පවසා නිම කරන තුරු ඍෂිවරයා අසා සිටියේය.
කව්රුහරි දෙන දෙයක් භාර නොගතහොත් එය අයිති වන්නේ කාටද?
අවසානයේදී ඍෂිවරයා එම පුද්ගලයාගෙන් ඇසීය? ඒක දීපු පුද්ගලයාටමයි යනුවෙන් ඔහු පැවසීය.ඔයා කියපු කිසිම දෙයක් මම භාරගත්තේ නැහැ යනුවෙන් ඍෂිවරයා පැවසීය.


විවේචනයට බිය නොවන්න. ඔබ විවේචනය බාර නොගතහොත් ඔබට කණගාටුවිමට අවශ්‍ය නොවේ. ඔබ විවේචනය භාරගතහොත් ඔබට දුක්වීමට සිද්ධ වෙයි. ඇතැම් මනෝවිද්යාඥයින් පවසන අන්දමට මනුෂ්‍යයන්ට වැළදෙන සියලුම රෝග පීඩාවලට වඩා ශෝකය ඉමහත් ඛේදජනක පීඩාවක් මිනුසුන් තුල ඇති කරයි. ශෝකය ඔබ තුල ඇති වූ විට ඔබට ආත්ම විශ්වාසයෙන් ක්‍රියාකළ නොහැක. මිනිසුන්ට වැළදෙන බොහෝ රෝග පීඩාවලට මුල තැවුල් සිතින් කාලය ගත කිරීමයි. දුක්වීම යන වචනයට යොදනු ලබන Worry නැමැති ඉංග්‍රීසි වචනය බිහිවුයේ පැරණි ඇන්ග්ලෝ සැක්සන් වචනයකිනි. ඒ බසින් Worry යන්නෙහි අරුත "ගෙල මිරිකීම" යනුයි. කව්රුන් හෝ ඔබේ ගෙල සිර කරන විට ඔබට ඇතිවන මරණිය බිය සහ වේදනාව දුක යන වචනයේ අරුතය වේ. එසේ නම් ශෝකයට හෝ දුකට ඔබේ ගෙල මිරිකන්නට දෙන්නේ ඇයි?.

තමාගේ නම අත්සන් කිරීමට පවා උගත්කමක් නැති ලක්ෂපතියෝ ලෝකයේ කොතෙකුත් සිටියහ. අදත් සිටිති. උසස් ඉගෙනීමක් ලබා නොගත් මෙවැනි පුද්ගලයන් දියුණුවේ හීනි පෙත්තට නැගීමේ රහස කුමක්ද? ඔවුන් දැඩි චිත්ත ශක්තිය හෙවත් ආත්ම විශ්වාසයෙන් පිරිපුන් පුද්ගලයන්ය. ඔබත් ආත්ම විශ්වාසය වගා කළහොත් ඔබටත් ලොව විශිෂ්ඨතමයන් ලැයිස්තුවට එක්විය හැකිය. අවසාන වශයෙන් නැපෝලියන් හීල් පැවසූ පරිදි ඔබට යමක් කළ හැකි බව විශ්වාස කළ හැකි නම් ඒ දෙය කිරීමේ හැකියාව ඔබ සතුව පවතී.

ඔබේ ප්‍රශ්න,ගැටළු සහ අදහස් මෙහි comment කරන්න අමතක කරන්න එපා.

17 comments:

  1. එල එල මචන්. වටිනා ලිපියක්. ඔයවගේ තවත් ලියපන්. අපි සපෝර්ට් එක දෙන්නම්.

    ReplyDelete
  2. හොද ලිපියක්,,දිගටම මේ වගේ ඒවා ලියන්න.. :)
    ජය වේවා..!

    ReplyDelete
  3. නියම ලිපිය. ගොඩාක් වටින අදහස් ටිකක්. විවේචන වලට භය වෙන්න නම් එපා :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බුඩී දිගටම යාත්‍රාව සමඟ රැඳී සිටින්න.

      Delete
  4. වටින ලිපියක්.. දිගයම ලියන්න සහෝ.. ඔබට ජය.. ඉතිරි ලිපි ටිකත් හිමීට කියවන්න ඕන.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිගටම යාත්‍රාව සමඟ රැඳී සිටින්න.

      Delete
  5. එල ,මේ ලිපි ඔක්කොම නියමය් ,‌තව දුරටත් ලියන්න .මගේ සුබ පැතුම්

    ReplyDelete
  6. thank you machan....this is a good article to my life

    ReplyDelete
  7. GODAK HODA UPADESAK THANKS

    ReplyDelete
  8. Masha allah grt wrk bro.....i got best ideas in this article

    ReplyDelete
  9. මේකත් ආත්ම විශ්වාස ගැන තියන හොද වීඩියෝ එකක් https://youtu.be/2_cq-KvDkrc

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...